ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වියදම් සාරාංශයක්

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වියදම් සාරාංශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් අද (13) මාධ්‍ය වෙත නිකුත් කළා.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ මුදල් වියදම් කළ ආකාරය හෙළිකරන ලෙස කළ අභියෝගයෙන් පසුවයි.

ක්‍රීඩා අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කරමින් ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 2,900ක මුදල වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත් කළා.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28 කෝටි 99 ලක්ෂ අනූදහසක මුදලක් ලබා දී ඇති අතර, මේ වන විට එම මුදලෙන් රුපියල් 25 කෝටි 73 ලක්ෂ 49,179ක මුදලක් වැයකර තිබෙනවා.

ක්‍රීඩා අරමුදල සතුව තිබූ මුදල් ශේෂයක් සමඟ තවත් රුපියල් 03 කෝටි 26 ලක්ෂ 40,821ක මුදලක් ඉතිරිව තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

වියදම් සාරාංශයට අනුව පැරාලිම්පික් පදක්කම්ලාභීන්ට ත්‍යාග මුදල් ලබාදීම
පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ කණ්ඩායම්වලට මූල්‍ය අනුගහය දැක්වීම
ජාතික ක්‍රීඩා අරමුදලේ වැඩසටහන් සඳහා වියදම් දැරීම සහ ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගී වූ කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම ආදි කාර්යන්වලට මෙම මුදල් වියදම්කිරීම සිදු කර තිබෙනවා.

COMMENTS