හිමිනමගේ පහරදීමෙන් තුවාල ලබා සිටි කොස්තාපල් ජීවිතක්ෂයට

හිමිනමගේ පහරදීමෙන් තුවාල ලබා සිටි කොස්තාපල් ජීවිතක්ෂයට

දෙණියාය පල්ලේගම ප්‍රදේශයේ දී හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක්.

තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක් විසින් පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසළදී මෙම පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

පොලිස් නිලධාරියා කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර, ඔහු සැකකාර හිමි නමගේ වයස අවුරුදු 26ක් වන සහෝදරියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙනවා.

ඔහු අදාළ තරුණියගේ නිවසට ගොස් සිටිය දී සැකකාර හිමිනම නිලධාරියාට දුරකතනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර, ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළ දී හමුව තිබෙනවා.

එම අවස්ථාවේ සිදු වූ බහින් බස්වීමකින් පසුව සැකකාර හිමිනම බෑගයේ සඟවා ගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.