ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්

මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් මේ මස 29 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනු කළා.
මෙම පෙත්සම් අද (21) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.
ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා අද දින නඩු විභාගයට සහභාගි නොවීම හේතුවෙන් අදාළ පෙත්සම් සෙසු විනිසුරුවරුවන් 04 දෙනා ඉදිරියේ කැඳවනු ලැබුවා.
සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් සංවිධානය විසින් මෙම පෙත්සම් 4ක් ඉදිරිපත් කළා.
පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ මෙම නඩුවට අදාළ විරෝධතා අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.
පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මුදල් අමාත්‍යවරයා විසින් මෙවර අයවැය විවාදයේ දී ඉදිරිපත් කළ කතාවේ පිටපතක් මෙම නඩුවට ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
මෙම පෙත්සම්වල වගඋත්තරකාරියක වශයෙන් නම් කර සිටි මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකාවක වන පී.එස්. එන්. චාල්ස් මහත්මිය විසින් විරෝධතා ගොනු කර තිබෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය මේ මස 29 වන දා ආරම්භ කරන බව නියෝග කළා.

