රුසියාවට දකුණු කොරියාවෙන් චෝදනා

රුසියාවට දකුණු කොරියාවෙන් චෝදනා

උතුරු කොරියාව විසින් ප්‍රථමවරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂගත කිරීමට ඊයේ (22) සමත් වූයේ රුසියාවේ සහායෙන් බවට දකුණු කොරියාව චෝදනා කරනවා.

උතුරු කොරියාවේ අභ්‍යවකාශ තාක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා රුසියාව මෙලෙස සහය වී ඇති බව ඔවුන් පවසනවා.

උතුරු කොරියාව මේ ආකාරයෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරනු ලැබුයේ ජාත්‍යන්තරයේ අවධානය වෙනත් ගැටුම් කලාප වෙත යොමු වී ඇති අවස්ථාවක වීම විශේෂත්වයක්.

රුසියාව, ඊශ්‍රායල – හමාස් යුද්ධය සහ චීනය පිළිබඳ අමෙරිකාවේ අවධානය යොමු ව තිබිය දී එම අවස්ථාවට ප්‍රයෝජනයට ගෙන සිය යුද තාක්ෂණය වැඩි දියුණු කර ගැනීමට උතුරු කොරියාව කටයුතු කරන බව විචාරකයන්ගේ අදහසයි.

චන්ද්‍රිකා පිළිබඳ තොරතුරු ග්‍රහණය සහ විශ්ලේෂණය සඳහා අමෙරිකාව සමඟ එක්ව කටයුතු කරන දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය සඳහන් කළේ උතුරු කොරියාවේ මැලිග්යොං – 01 චන්ද්‍රිකාව කක්ෂයට පිවිසී ඇති බව තහවුරු වූ බවයි.

එහෙත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා තවත් කාලය අවශ්‍ය බව එමගින් ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, අඟහරුවාදා සන්ධ්‍යාවේ උඩුගුවනට යැවූ සිය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

බදාදා දිනයේ උතුරු කොරියානු චන්ද්‍රිකා පාලක මධ්‍යස්ථානය වෙත ගිය එරට නායක කිම් ජොං අන්, මැලිග්යොං-01 චන්ද්‍රිකාව මඟින් ඒවු ගුවාම් දිවයිනේ අමෙරිකානු හමුදා කඳවුරුවල ගුවන් ඡායාරූපය නිරීක්ෂණය කළ බව එමඟින් සඳහන් කර තිබෙනවා.

උතුරු කොරියානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා කක්ෂගත කිරීමට විරෝධය පා දකුණු කොරියාව, උතුරු කොරියාව සමඟ පවතින ආරක්ෂක ගිවිසුමෙන් පාර්ශ්වීය ලෙස ඉවත්වුණා.

උතුරු කොරියාව අද ඊටත් වඩා ප්‍රබල ප්‍රතිචාරයක් ප්‍රකාශයට පත්කළා.

උතුරු කොරියාව ප්‍රකාශ කළේ දකුණු කොරියානු දේශසීමාව ඔස්සේ වඩාත් ශක්තිමත් ප්‍රබල හමුදා කණ්ඩයක් මෙන්ම නවීන අවි රැඳවීමට පියවරගන්නා බවයි.

දේශසීමාවේ උණුසුම් වාතාවරණයක් වැළැක්වීම සඳහා දකුණු කොරියාව සමග වූ ගිවිසුම යටතේ වළක්වා තිබූ සියලු පියවර නැවත ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

COMMENTS