වාන් දොරටු සියල්ල විවෘත වූ වික්ටෝරියාව

වාන් දොරටු සියල්ල විවෘත වූ වික්ටෝරියාව

අධික වර්ෂාවත් සමඟ මෙම වසර තුළ පළමු වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08ම විවෘත කර තිබෙනවා.

ජලාශ භාර ඉංජිනේරුවන් දැනුම් දෙන්නේ ජලාශයෙන් පහළ කොටසේ මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.

අයහපත් කාලගුණය හමුවේ පස්කදු කඩා වැටීම්, ගස් කඩා වැටීම් ඇතුලු‍ හේතු මත මාර්ඟ කිහිපයක්ම අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මාතලේ -රත්තොට හරහා දිවෙන රිවස්ටන් මාර්ගය සම්පූර්ණයෙන් වසා තිබෙනවා.

එම මාර්ගයේ මැදවත්ත ප්‍රදේශයෙන් අදාළ පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වෙනවා.

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ඟය ද උඩුදුම්බර හා හුන්නස්ගිරිය අතර ප්‍රදේශයේ දී ගස් සහ පස් කදු කඩාවැටීමෙන් අවහිරවී තිබෙනවා.

පොළොන්නරුව සිට සෝමාවතිය මාර්ඟයේ සුංගාවිල ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ඟයේ ගමනාගමනය අවහිර වී තිබෙනවා.

අද (31) පස්වරුවේදී ත් නැහෙනහිර, ඌව පළාත්වලත් පොළාන්නරුව, මාතලේ, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

ගතවූ පැය 24 තුළ මිලිමීටර 134ක් සටහන් කරමින් වැඩිම වර්ෂාපතනය රන්ටැඹේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.