බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කිරීම ගැන රේගුවෙන් පරීක්ෂණයක්

බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කිරීම ගැන රේගුවෙන් පරීක්ෂණයක්

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවල මාධ්‍යට ප්‍රකාශ කරන බවයි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන රසායන ද්‍රව්‍ය සහිත කන්ටේනර් පසුගිය ජනවාරි 27 වැනිදා කොළඹ වරායෙන් මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

දැනට සිදුකර ඇති විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ජනවාරී 29 දා ඒවා මිද්දෙණියට රැගෙනවිත් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවල මාධ්‍යට ප්‍රකාශ කරන බව රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ය.

අදාළ කන්ටේනර් රේගුවෙන් නිදහස් වීම පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර, කඳාන ප්‍රදේශයේ නිවසකින් සහ ඒ ආසන්න වගුරුබිමකින් ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සොයා ගනු ලැබීය.

පොලීසිය සඳහන් කළේ, එම රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න රජයේ රස පරික්ෂකවරයාට යවා තහවරු කර ගැනිමට කටයුතු කරන බවයි.

ඉන්දුනීසියාවේදී අත්අංඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පානදුරේ නිලංග නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයින් දෙදෙනෙකු ගෙන් ලබාගත් තොරතුරු අනුව මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේන අතර ක්‍රිෂ්න, නමින් හදුන්වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙම නිවස කුලී පදනම මත වසරක කාලයක් සදහා ලබාගෙන තිබූනේ මීට මාසයකට පමණ ඉහතදීයි.

මේ අතර මිද්දෙණියේ ඉඩමක වළදමා තිබියදී ද , අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව කියන රසායන ද්‍රව්‍ය කිලෝග්‍රැම් 50,000කට ආසන්න ප්‍රමාණයක් පසුගියදා සොයා ගනු ලැබීය.

එහි සාම්පල මේ වන විට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත යොමු කර ඇති අතර ඇතැම් සාම්පල වල අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව මේ වන විට අනාවරණය වී තිබේ.

පසුව නෙටොල්පිටියෙන්ද ඒ සමාන රාසායනික ද්‍රව්‍ය තොගයක් හමු විය.

පොලීසිය පවසන්නේ මිද්දෙණිය, නෙටොල්පිටිය සහ කදාන ප්‍රදේශවලින් සොයාගත් මෙම ද්‍රව්‍ය තොගය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් සහ පානදුරේ නිලංග නැමැති අපරාධකරුවන්ට අයත් බවයි.

මිද්දෙණියේ සිදුවීමට අදාලව අගුනකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී විජේවික්‍රම මනම්පේරිගේ පියල් සේනාධීර අත්අඩංගුවට ගෙන සිටියි.

මිද්දෙණියේ රසායනික ද්‍රව්‍ය වළ දමා තිබු ඉඩම ඔහුගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරී නමැත්තාට අයත් බව විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.

ඔහු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කල අපේක්ෂකයෙකි

සම්පත් මනම්පේරි මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS