මාලදිවයින ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

මාලදිවයින ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

දිවයිනට පැමිණි මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවයි.

විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව තිබේ.

එමෙන්ම මාලදිවයින ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකටද එක් වනු ඇත.

ජනාධිපති මුයිසු මහතා සමඟ සජිදා මොහොමඩ් මැතිණිය සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිති.

ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (03) දිවයිනට පැමිණියේ ය.

දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසිනි.

මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී විශේෂ උත්තමාචාරයක්ද පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්.

සියලු ජාතීන් නියෝජනය වන පරිදි කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුදකරනු ලැබූහ.

මොහොමඩ් මුයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

මාලදිවයින් – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 61ක් වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මෙම සංචාරය සනිටුහන් කරමින් මාලදිවයින ජනාධිපතිවරයා මෙහිදී ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබීමට කටයුතු කළේ ය.

මාලදිවයින ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් අනිද්දා (06) දක්වා කොළඹ සහ කටුනායක අධිවේගී මාර්ගය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක වේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු ගමන් කරන මාර්ගවල රථ වාහන ධාවනය අවස්ථානූකූලව සීමා කෙරෙන බවයි.

ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

COMMENTS