තෙල් මිල ගණන් උස්සද්දී ත්‍රිරෝද රථ ගාස්තුවත් ගණන් උස්සයි ?

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම බලාපොරොත්තු වන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පැවසීය.
ඒ අනුව ගාස්තු මීටර භාවිත කරමින් ධාවනය වන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ සඳහා පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 130ක් දක්වා ඉහළ දැමීමේ තීරණයක් ගෙන තිබේ.
අදාළ යෝජනාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ, පසුගිය වර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් සහ මෙවර රුපියල් 24කින් වශයෙන් ආසන්නතම අවස්ථා දෙකේදී පමණක් ඉන්ධන මිල රුපියල් 36කින් ඉහළ ගොස් ඇති බවය.
“පසුගිය වතාවේ රුපියල් 12කින් මිල වැඩි වූ අවස්ථාවේදී අපි මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටියේ නැහැ.
නමුත් මෙවර රුපියල් 24ක් වැනි ඉහළ අගයකින් මිල වැඩි වීම නිසා අපිට තවදුරටත් පැරණි මිල ගණන් යටතේ සේවය සැපයිය නොහැකියි” යැයි ඔහු සඳහන් කළේය.
මේ අතර ඉන්ධන මිලට අමතරව ත්‍රිරෝද රථ සඳහා අත්‍යවශ්‍ය වන ග්‍රීස්, එන්ජින් ඔයිල් ඇතුළු ලිහිසි තෙල් වර්ග සහ අමතර කොටස්වල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සංගමය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ගාස්තු සංශෝධනයක් සිදු නොවුණහොත් සමස්ත ත්‍රිරෝද රථ කර්මාන්තයම බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇති බව රෝහණ පෙරේරා මහතා අවධාරණය කළේය.
වත්මන් රජයේ ආර්ථික පිළිවෙත් විවේචනය කරමින් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ පීඩාවට පත්ව සිටින තමන් වැනි කර්මාන්තකරුවන් ලෙස රජය වැඩි අවධානයක් යොමු නොකරන බවය.
“IMF එකෙන් හෙන ගහද්දී අපි එළියට දාන යකඩ කෑලි වගේ මේ රජය අපිව ගණන් අරගෙන තියෙන්නේ” යැයි ද ඔහු පැවසීය.

