විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්නවා – අගමැති

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය පියවර ගන්නවා – අගමැති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඔහු කියාසිටියේ රටේ පවතින ප්‍රශ්ණ ආර්ථික ප්‍රශ්ණයට පමණක් සීමාවී නොමැති බවයි.

එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටලු දෙකක් පවතින අතර ඉන් එකක් 19 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වන අතර ඒ පිළිබඳ මේවන විට පක්ෂ නායකයන් ලෙස 21 වන සංශෝධණය සකස් කරගෙන යනවා.

දෙවනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කිරීමට අවශ්‍ය කාල වකවානුව සහ ක්‍රමවේදය පක්ෂ නායකයන් තීරණය කරනු ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා අද (29) මේ බව ප්‍රකාශ කළේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය පහතින්…

“යෝජිත 21 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩිවෙනවා. නමුත් ඒකෙන් පමණක් අපට සෑහීමකට පත්වෙන්න බෑ. දැන් අපි පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කරලා, දැන් තියෙන පාර්ලිමේන්තු ක්‍රමය, මේ රාජ්‍ය මන්ත්‍රණ ක්‍රමය දෙකම එකතු කරලා අලුත් ක්‍රමවේදයක් අපි විශේෂයෙන්ම ඇති කිරීමට අවශ්‍යයි. ඒ අවස්ථාවලදී පාර්ලිමේන්තුවට රටේ පාලනයට සහභාගී වෙන්න පුළුවන්. දැන් තියෙන මුදල් නීතිය දිහා බලලා, අපි අලුත් නීති මාලාවක් සම්මත කරන්න ඉන්නේ. දැනට මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභා තුනක් තියෙනවා. රජයේ මුල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව. මීට අමතරව අපි තවත් යෝජනා ගෙනියනවා. ඒ තමා මුදල් පිළිබඳ අලුත් කාරක සභා දෙකක් ඇති කරන්න. විශේෂයෙන්ම ක්‍රම හා විධි කාරක සභාවක් පත්කරනවා. රජයේ ආදායම් එක්රැස් කිරීම, ආදායම් වැඩි කිරීමේ ක්‍රියාමාර්ග, යෝජනා කරන කොමිටිය තමා ඒ කොමිටිය.

දෙවැනිව අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා බැංකු හා ෆිනෑස් කම්පැනිවල මුල්‍ය තත්ත්වය. ඒවා දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා. අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපිට අධීක්ෂණ කොමිටු පත්කරන්න පුළුවන්. ඒ නිසා යෝජනා කරනවා අධීක්ෂණ කොමිටු 10ක් පත්කරන්න. මේ මුල්‍ය කාරක සභා 5 ඒ වගේම අධීක්ෂණ කාරක සභා 10 සභාපති ලෙස ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අවස්ථාව තියෙනවා ඇමතිවරුන්ගෙන් ස්වාධීනවත් ඇමතිවරුන් සමගත් යන දෙකටම වැඩකරන්න ක්‍රමවේදයක් ඇති කරන්න. මේ කාරක සභා 15ටම යෝජනා කරන්නේ තරුණ නියෝජිතයින් 4 දෙනෙක් පත්කරන්න. එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන්. අනෙක් තුන මේ විරෝධය පළකරපු කණ්ඩායම්වලින් හා අනෙක් තරුණ කණ්ඩායම්වලින් තෝර ගන්න. ඒ තෝර ගන්න ක්‍රමවේදය තරුණ සංවිධාන මඟින්ම තීරණය කරන්න පුළුවන්. මේ අවස්ථාවේ දී තරුණයින්ට පුළුවන් ප්‍රශ්න දැනගන්න ඒ වගේම තමන්ගේ විසඳුමත් ඉදිරිපත් කරන්න.

මේ හැම දේ එක්කම අපි තවත් යෝජනා කරන්නේ ජාතික සභාවක්. කථානායකතුමා, අගමැතිතුමා ඒ වගේම විපක්ෂ නායකතුමා ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටුවක් තමා මේ ජාතික සභාව. ජාතික සභාවට පුළුවන් රටේ ප්‍රශ්න ගැන කතා කරන්න. කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කථා කරන්න. ඒ එක්කම පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන සාකච්ඡා කරන්න. එහෙනම් ඒක දේශපාලන මණ්ඩලයක්. ඒකට තරුණ නියෝජිතයින් ඉන්නවා නම් වෙනම පත්කරපු ඒ අය ගැනත් අපිට සලකා බලන්න පුළුවන්. අපි මේ ඇති කරලා තියෙන අලුත් ක්‍රමයේ දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකියන්න ඕනේ. කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා 15ක් පාර්ලිමේන්තුවට වගකියන්න තියෙනවා. එතකොට මේ හැම එකේම සම්පූර්ණ බලය තියෙන්නේ ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට.”

COMMENTS