නව වසරේ වැඩ අල්ලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා යයි

20-20 තරග තුනකින් සහ එක්දින තරඟ තුනකින් සමන්විත ඉන්දීය තරඟ සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) සවස දිවයිනෙන් පිටත්ව ගියේය.
දසුන් ශානක කණ්ඩායම මෙහෙයවන අතර එක්දින කණ්ඩායමේ සහ 20 -20 කණ්ඩායම්වල උප නායකත්වය පිළිවෙලින් හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ට සහ වනිඳු හසරංගට ය.
ඔවුන් තුන් දෙනාට අමතරව පිතිකරුවන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චරිත් අසලංක, භානුක රාපක්ෂ, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර සහ නුවනිඳු ප්‍රනාන්දු තරඟාවලිය සඳහා එක්වීමට නියමිත ය.
තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න සහ දුනිත් වෙල්ලාලගේත්, පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු කුමාර, ඩිල්ශාන් මදුශංක සහ නුවන් තුෂාරත් අද (31) පිටත්ව ගිය කණ්ඩායමට ඇතුළත්ය.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඔවුන් නිල ඡායාරූපයටද පෙනී සිටි අතර ඉන් අනතුරුව ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේ ය.
ජනවාරි 3 වැනිදා මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 20 – 20 තරඟයෙන් මෙම තරඟාවලිය ආරම්භ වීමට නියමිත ය.






