දළඳා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ අත්අඩංගුවට

දළඳා වහන්සේට සහ බුද්ධාගමට නිගා වන අයුරින් සමාජ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ නම් තැනැත්තා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ දී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසන්නේ.
බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ලෙස ඔහු විසින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කඩිනම් පියවර ගන්නැයි මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකර තිබිණ.
එමඟින් පෙන්වා දී ඇත්තේ බෞද්ධයාගේ සිත් පෑරෙන අයුරින් අදාළ පුද්ගලයා බුදු දහමට සහ ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවය.
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කරමින් කියා ඇත්තේ, මෙමගින් රටේ සංහිඳියාව බිඳ දැමීමට හිතාමතා කටයුතු කර ඇති බවය.
එමෙන්ම බෞද්ධාගමට හා ශ්‍රී දළඳා වහන්සේට අපහාස කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා කෝට්ටේ ශ්‍රී නාග විහාරවාසී පූජ්‍ය කොටහේනේ නාරද හිමි සහ සිවිල් සංවිධාන කිහිපයක් පොලිස්පතිවරයාට ඊයේ(04) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

