දලයි ලාමාතුමාගේ ලංකා සංචාරයට චීනය අකමැත්තෙන්

දලයි ලාමාතුමාගේ ලංකා සංචාරයට චීනය අකමැත්තෙන්

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමාට කළ ආරාධනයට චීනය දැඩි විරෝධය පළ කර තිබේ.

පසුගියදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි බැහැදුටු ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වේ මහතා ප්‍රකාශ කර ඇත්තේ, චීනය ඕනෑම විදෙස් රටක් විසින් දළයි ලාමා නමින් සිටින පුද්ගලයෙකු පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

14 වන දලයි ලාමාතුමා හුදෙක් භික්ෂූන් වහන්සේ නමක් නොවන බවත් චීන විරෝධී කටයුතුවලට සම්බන්ධ සහ ටිබෙටය චීනයෙන් වෙන්කිරීමට උත්සාහ කරන ආගමික වෙස්ගත් දේශපාලන පුද්ගලයෙකු බවත් චීන වැඩ බලන තානාපතිවරයා ප්‍රකාශකර තිබේ.

ඔහු මහ නාහිමියන්ට දැනුම්දී ඇත්තේ, චීනය හා ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට යහපත් ලෙස සහයෝගය දක්වන රටවල් දෙකක් බැවින් දෙපාර්ශ්වයේ බෞද්ධ ජනතාව විසින් දළයි ලාමා සිදු සිදුකිරීමට පෙළෙඹෙන මේ සංචාරය වැළැක්විය යුතු බවයි.

එය ටිබෙට් රාජ්‍යයේ නිදහස ප්‍රවර්ධනය කිරීමක් මෙන්ම චීන ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා පළුදු කිරීමක් වනු ඇතැයි වැඩ බලන තානාපතිවරයාගේ මතයවී තිබේ.

පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ ත්‍රෛනිකායින මහා සංඝරත්නය එහි සිටි ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දළයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අරාධනා කර තිබිණ.