ලංකාවට අහිමි කළ ව්‍යාපෘතිය බංග්ලාදේශයට

මෙට්‍රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී වීවෘත කෙරුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අගනුවර අධික මාර්ග තදබදය මග හරවගැනීමේ අරමුණින් මෙය ඉදිකර ඇති බවයි.
මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු 10ක කාලයක් පමණි.
මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000 ක් පමණ ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ය.
එරට ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන ජපානය මෙය ඉදිකිරීමට මූල්‍ය දායකත්වය සපයා තිබේ.
ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ 2030 වර්ෂය අවසන් වනවිට තවත් මෙට්‍රෝ දුම්රිය මාර්ග 6 ක් ඉදිකිරීමට නියමිතයි.
මේ අතර කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන් රජයේ ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ද ඉදිකිරීමට සූදානම්ව තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේ එය නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බවට විගණකාධිපතිවරයා සිය වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී එකඟතාව ලද විගස කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කළ හැකි යැයි ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට පසුගිය දා දැනුම් දී තිබිණි.


