සේපාලට පැමිණිල්ලක් – පාර්ලිමේන්තුවෙත් කතා බහාට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහට විරුද්ධව පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.
කෝට්ටේ – ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති නාරද හිමියන්, බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වයි, මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.
සේපාල අමරසිංහ යන අය, බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝරත්නයට අපහාස කරන බවට, චෝදනා කරමිනුයි, මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ.
බුදුදහම ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බැවින්, එයට විරුද්ධ වන්නන්ට එරෙහිව නීතියෙන් කටයුතු කිරීමට හැකියාව ඇති බවයි, ඔවුන් පවසන්නේ.
මේ අතර මහනායක හිමිවරුන් ද ඊයේ (04) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා තිබුණේ, සේපාල් අමරසිංහ නමැති මෙම පුද්ගලයාට එරෙහි ව වහා ම නීතිය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස යි.
මෙම සිදුවීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ ද දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් වුණා.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ඔහු අවධාරණය කළේ, මොහුට විරුද්ධ ව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව යි.
ලංකාවේ පවතින සියලු ආගම් පවතින්නේ, අවිහිංසාව හා අන්‍යයන්ට ගරු කිරීම මත බව යි විජේදාස රාජපක්ෂ පවසන්නේ.
ඕනෑ ම අයෙකුට පෞද්ගලික ව තමන් මිත්යාදෘෂ්ටිකයකු බව ප්‍රකාශ කළ හැකි නමුත් අනෙකාගේ විශ්වාසයන්ට හා ඇදහිලිවලට හානි වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම කිසි සේත් කළ නො හැකි බව විජේදාස රාජපක්ෂ සඳහන් කරනවා.
මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයට අනුව යම් ආගමකට හෝ ලබ්ධියකට අයත් ජන කණ්ඩායමක හිත් පෑරෙන ප්‍රකාශයක් සිදු කළ හොත් එය දණ්ඩනයට ලක් කළ යුතු වැරැද්දක් බව යි විජේදාස රාජපක්ෂ අවධාරණය කරන්නේ.
ඉන්ටර්නැශනල් කන්වෙන්ශන් ඔෆ් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස් ICCPR පනතට අනුව ද මෙසේ යම් ආගමකට හෝ ලබ්ධියකට අයත් ජන කණ්ඩායමක හිත් පෑරෙන ප්‍රකාශයක් සිදු කිරීම සාපරාධී වරදක් වන අතර, ඒ සඳහා වසර 10ක සිර දඬුවමකට පවා යටත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කරනවා.

