නිදහස් දිනයට සමගාමීව දළඳා ප්‍රදර්ශනයක්

75 වන නිදහස් දිනයට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඒ අනුව ශ්‍රී දළදා ප්‍රදර්ශනය ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර 75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි. බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 වන දින සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ.
පසුදා උදෑසන හීල් දානමය පිංකමක් ද සිදු කිරීමට නියමිතය.
කතෝලික ආගමික වතාවත් මරදාන ෆාතිමා දේවස්ථානයේ පෙබරවාරි මස 04 වන දින උදෑසන 6.30ට සිදු කෙරෙන අතර, ක්‍රිස්තියානි ආගමික වතාවත් එදින එම වේලාවටම ගාලුමුවදොර ක්‍රිස්තියානි දේවස්ථානයේ දී සිදු කෙරේ.
හින්දු ආගමික වතාවත් පෙබරවාරි 03වන දින උදෑසන ත්‍රීකුණාමලය දක්ෂිණ කෛලාෂ් හෙවත් කෝණේෂ්වරන් කෝවිලේදී සිදු කෙරේ.
මුස්ලිම් ආගමික වතාවත් පෙබරවාරි 04 වන දින පෙ.ව 10.00ට කොළඹ මහ පල්ලියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මීට අමතරව 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා” රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කලා ශිල්පීන් 750කගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 03 වනදා ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත් වේ.
මේ අතර “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පැවත්වෙන අභිමානවත් නිදහස් උළෙලේදී 2048 වසරේ 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය.

