ආදිවාසී නායකයා සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පනතක් ඉල්ලයි

ආදිවාසී නායකයා සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පනතක් ඉල්ලයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසී නායකයෝ රැසක් ඊයේ (17) පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා.

ඌව, නැගෙනහිර, උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමු වී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස්කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත භාර දීම එහිදී සිදු වුණා.

එමෙන්ම එහිදී පැවැත් වූ සාකච්ඡාවක දී ආදිවාසී නායකවරයා පෙන්වා දුන්නේ ආදිවාසී ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

තවද ආදිවාසී ජනතාවගේ උන්නතිය සඳහා යම් පියවර විවිධ අවස්ථාවල දී ගෙන තිබුණ ද ඒවාට නෛතික ශක්තිමත් බවක් නොමැති වීම නිසා ජීවනෝපාය සිදුකිරීමේ දී ආදිවාසී ජනතාවට මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ආදිවාසී නායකයෝ එහිදී පෙන්වා දුන්නා.

1963 වර්ෂයෙන් පසු මෙරට ආදිවාසී ජනතාවගේ දත්ත සම්බන්ධයෙන් සංගණනයක් සිදුකර නොමැති වීම ගැටලුවක් බව පැවසූ ආදිවාසී නායකයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, 1963 වර්ෂයෙන් පසුව සිදුකරන ලද සංගණනවල දී ආදිවාසී ප්‍රජාවගේ දත්ත ”වෙනත්” යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කිරීමෙන් අසාධාරණයක් සිදුව ඇති බවයි.