තමන් ආදරය කරපු කෙනාට අපරාධයක් කරන්න පුළුවන් ද ? – මනෝ වෛද්‍ය රූමි රූබන්

ක්ෂණික කේන්තිය සහ ආවේගය නිසා සිදු වන අපරාධ වළක්වා ගැනීමට ස්වයං පාලනයක් සහ සමාජයීය බලපෑමක් ඇති කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවියකට ඇයගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු එවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් වැඩිදුරට ත් දැක්වූ අදහස්
“ආදරයත් වෛරයත් අතර කෙස් ගහක වෙනසක් ඇති බවට සමාජ මතයක් තිබුණ ත් ඒක මිථ්‍යාවක්. ඇත්තට ම ආදරය කරනවා නම් තමන් ආදරය කරන ආදරවන්තියට හෝ ආදරවන්තයාට අපරාධ කරන්න හිතෙන්නේ නෑ. මොකද ඒ ආදරය අවංක චේතනාවෙන් සිදු වන්නක් නිසා. අවංකව ආදරය කරන අය මෙවන් අපරාධවලට පෙළඹෙන්නේ නැහැ. නමුත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් විටින් විට අපිට සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.
ඇයි එහෙම වෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි ඒ ඒ පුද්ගලයින්ගේ පෞර්ෂත්ව සාධක. යම් ආදර සම්බන්ධතාවයක් බිඳී ගියහම පෙම්වතාට පෙම්වතිය ගැන හෝ පෙම්වතියට පෙම්වතා ගැන හෝ කේන්තියක්, ආවේගයක්, වෛරයක් ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ආවේගය පාලනය කර ගැනීමට තමන්ට ශක්තියක් තිබිය යුතුයි. එසේ නොමැති වූ තැන තමයි මෙවන් අපරාධවලට පුද්ගලයින් පෙළඹෙන්නේ.
තමන්ගේ බලාපොරොත්තු බිඳ දැම්මා ම තමන්ට හිතෙනවා ඇය හෝ ඔහු තමන්ට එරෙහි වුණා කියලා. ඒ වෙලාවට ආදරේ අමතක වෙනවා. අන්න ඒ වෙලාවට මේ ආවේගය පාලනය කරගන්න පුළුවන් නම් මෙවන් අපරාධ පාලනය කරගත හැකියි. එහෙම නැතිවුණු තැනකදි තමයි රටට දැයට ජාතියට ආගමට වටිනා මෙවන් ජීවිත අපිට අහිමි වෙන්නේ.
ඒ නිසා ක්ෂණික කේන්තිය සහ ආවේගය නිසා ඇති වන මෙවන් අපරාධ වළක්වා ගැනීමට ස්වයං පාලනයක් සහ සමාජයීය බලපෑමක් ලබාදිය යුතුයි. ඒ නිසා මෙවන් සිදුවීමක් වූ අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තිබෙනවා.
තමන්ට යම් ගැටලුවක් වූ විටෙකදී තව කෙනෙකු සමග පැවසීම. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදේශන ලබා ගැනීම, කාගෙන් හරි තමන්ට තර්ජනයක් තිබෙනවා නම් ඒ පිළිබඳව මේ රටේ ආරක්ෂක අංශ දැනුවත් කොට ඒ හරහා රැකවරණය ලබා ගැනීම, දැන උගත් බුද්ධිමත් වැඩිහිටියන්ගෙන් උදව් ලබා ගැනීම වැනි දෑ කොට තම ජීවිත ආරක්ෂා කර ගැනීමට පෙළඹිය යුතුයි.
ඒත් ලැජ්ජාව සහ බය නිසා ඇතැමුන් එවන් ක්‍රියාමාර්ගවලට පෙළඹෙන්නේ නැහැ. හිත ඇතුළේ තද කර ගෙන දරාගෙන ඉන්නව. කාලය විසින් විසඳයි කියලා ඉන්නව. නමුත් එවන් සිදුවීම් කාලය විසින් විසඳන්නෙ නැහැ.
ඒ නිසා මා වගකීමෙන් කියනවා මෙවන් අපරාධ වැළක්වා ගැනීම සඳහා දෙදෙනා ම මීට වඩා සැලකිලිමත් විය යුතු බව.” යනුවෙන්

