කරන්නාගොඩව රහසිගත වීඩියෝ කිරීම ගැන CID පරීක්ෂණ

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිදුවීමක් අනාවරණ වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ආණ්ඩුකාවරයා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවයි.
ආණ්ඩුකාරවරයාගේ කුරුණෑගල වැව රවුමේ පිහිටි නිල නිවස, කුරුණෑගල නගරයේ පිහිටා ආණ්ඩුකාර කාර්යාලයේ සිට නිල නිවස කරා ගමන් ගන්නා මාර්ගය මෙන්ම පෙර ගමන් රථය කිසියම් පිරිසක් විසින් වීඩියෝගත කර ඇති අතර, එම වීඩියෝවේ දර්ශන කිසියම් පුද්ගලයෙකු විසින් ආණ්ඩුකාරවරයාට ලබාදී තිබෙනවා.
මෙහි ඇති ආණ්ඩුකාර නිල නිවසට අදාළ වීඩියෝ දර්ශන ඊට යාබදව පිහිටා ඇති කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල නිවසේ සිට ලබාගෙන තිබීම විශේෂත්වයක්.
තමන් නිල නිවසේ නොසිටි අවස්ථාවක කිසිවෙකු විසින් මෙම දර්ශන ලබාගෙන ඇති බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ ආණ්ඩුකාරවරයා හමුවේ පිළිගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නද එය මන්දගාමීව සිදුවීම නිසා මේ පිළිබඳව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.
ඒ අනුවයි අදාළ විමර්ශනය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත්තේ.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන වයඹ ආණ්ඩුකාරවරයාට ලබාදී ඇති ආරක්ෂාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.

