වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛයක් එළියට

වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛයක් එළියට

රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධනගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

2022/2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත්, අතිරික්තය රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

2022/2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිල දී ගැනීමට නියමිතයි.

ඒ අනුව උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 100කට ද, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 88කට ද මිලදී ගැනීමට නියමිතයි.

අදාල චක්‍රලේකය මගින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය තුළ තොග භාර ගැනීම, ගබඩා කිරීම සහ ඊට අදාළ ලේඛන පවත්වා ගැනීම හා ගිණුම් ගත කිරීම පිළිබඳ වගකීම දිස්ත්‍රික් ලේකම්වරු සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා තිබෙනවා.

වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් ගතයුතු පියවර පිළිබඳව ද උපදෙස් නිකුත් කර තිබෙන අතර ගබඩාවල පවතින වී සහ සහල් තොග ආරක්ෂාව සඳහා අවශ්‍යතාවය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොදවා ගැනීම, වී මිලදී ගැනීමේ දී වන මෙහෙයුම් වියදම් අදාළ මුදල් රොගුලාසි, චක්‍රලේඛ සහ අනෙකුත් රජයේ අනුමැතින්ට යටත්ව සිදු කිරීම, එක් එක් දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාණ්ඩලික නිලධාරියෙකු පත් කිරීම චක්‍රලේකයේ ඇතුළත්.