ජනරජ පෙරහැර අද සවස මහනුවර දී

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට නියමිතයි.
එහි සමාරම්භක අවස්ථාව පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 6.30 ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්ද වීථිය ඔස්සේ රජ වීථියට පිවිස නැවත මාලිගාවට ගෙවදීමෙන් පෙරහර අවසන් වනවා.
වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සංස්කෘතිකාංගවලින් එය විචිත්‍රවත් වනු ඇති.
මෙහිදී දළඳා වහන්සේ වැඩම කරවීමක් සිදු නොවන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් පෙරහර වීථි සංචාරය කරනවා.
සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය ද අරමුණු කරගනිමින් මෙය සංවිධාන වන අතර, සුවිශේෂී වැදගත් අවස්ථාවල දී පමණක් ශ්‍රී දළඳා මාලිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධාන කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ ආකාරයට සංවිධාන කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇත්තේ වේල්ස් හි ආදිපාදවරයා ලංකාවට පැමිණීම මුල් කරගනිමින්.
1954 දී දෙවන එලිසබත් රැජිණගේ ලංකාගමනය වෙනුවෙන් ජනරජ පෙරහර පවත්වා ඇති අතර, 1981 වසරේදී සහ 1987 වසරේදී ද ජනරජ පෙරහරක් පවත්වා තිබෙනවා.
මේ අතර, ජනරජ පෙරහර හේතුවෙන් අද පස්වරු පහේ සිට පෙරහැර අවසන් වනතෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ද ක්‍රියාත්මකයි.

