Update: බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට

Update: බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළට

නෝට්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරෙන් පසුව අතුරුදන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයෙකුගේ මළසිරුර අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව තුන දක්වා ඉහළ යනවා.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් තිබූ බස් රථයක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් බස් රථයේ පැමිණි අයෙකු අතුරුදන්ව ඇති බවට සැළවීමෙන් පසුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලිසිය එක්ව බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේදියි එහි සිර වී සිටි මෙම තරුණයාගේ සිරුර සොයාගත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් වයසැති තරුණයෙක්.

අනතුරින් එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 26 හා 30 පසුවන තෙලිජ්ජවිල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

මියගිය තිදෙනාගේ සිරුරු මේ වනවිට වටවල රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නෝටන් බ්‍රිජ් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.