ජනාධිපති සමඟ සාකච්ඡා අසාර්ථකයි – සැලසුම් කළ වෘත්තීය ක්‍රියාමාර්ග එලෙසමයි

ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වු බව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඔවුන් සැලසුම් කළ පරිදි මාර්තු මස 01 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි පවසන්නේ.
වෛද්‍ය, බැංකු, වරාය, විදුලිය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තීය සමිති 40 ක් පමණ නියෝජනය කරන වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද පළමු වතාවට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළේ රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවයි.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමතරව, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එක්ව සිටියා.
එහිදී වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් විසින් බදු සම්බන්ධ යෝජනා මාලාවක් ලබාදී ඇති අතර, ඔවුන් පනවා ඇති බදු සම්බන්ධයෙන් කඩිනම් සහනයක් ඉල්ලා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, රටේ ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ලබාගැනීම අදාළ පියවර හේතුවෙන් එවැනි සහනයක් ලබාදිය නොහැකි බව බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

