විරෝධතාකරුවන් 20ක් රෝහල් ගත කෙරේ

විරෝධතාකරුවන් 20ක් රෝහල් ගත කෙරේ

“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කර තිබු විරෝධතාවයට එල්ල වු ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබීය.

කොළඹ ඉබ්බන්වල මංසන්ධියේ දී පොලීසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

එම විරෝධතා පාගමනට එරෙහිව කොටුව පොලීසිය සහ මරදාන පොලීසිය විසින් අධිකරණ නියෝග දෙකක් ද ලබාගෙන තිබු අතර එම නියෝගවලට අනුව විරෝධතා පාගමන නතර කරන ලෙස පොලීසිය විසින් විරෝධතාකරුවන්ට දැනුම් දෙනු ලැබීය.

එහෙත් ඔවුන් මාර්ගය අවහිර වන සේ රැඳීසිටිම හේතුවෙන් පොලීසිය ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වීමට නියෝග කිරිමත් සමඟ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණි.

ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව විරෝධතා පෙළපාලියේ පැමිණි විරෝධතාකරුවන් කොළඹ ලිප්ටන් වට රවුමට රැස්වී ජනහමුවක් පවත්වා ඇත.