ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය යන්නයි.

1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය 16යේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී වීදි ඔස්සේ පෙළපාළි ගොස් තිබේ. එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අඳහසක් ඇතිව තිබේ. නිල වශයෙන් කාන්තා දිනය සැමරිය යුතු බවට තීරණය කෙරුණේ, 1910 වසරේදී කෝපන්හේග් නුවර පැවැති රැස්වීමකින් අනතුරුව ය.

එහිදී ඔවුන් සැමරුම් දිනය ලෙස තෝරාගත්තේ පෙබරවාරි 28 වන දා ය. එහෙත් 1910 කෝපන්හේග් නුවරදී රැස්වුණු අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 8 වන දින නම් කරනු ලැබ තිබේ. මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙනි.

ප්‍රථම සැමරුම කෝපන්හේග් නුවරදී පැවැති සමුළුවෙන් අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබී ය.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය එම රටවල් අතරට අයත් වෙයි.පළමු ලෝක යුද්ධය අවසාන වනතුරු කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව නොතිබූ අතර ඉන්පසුව ලොව බොහෝ රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ද හිමි විය. ලොව සියලුම රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමග ය.

කිසියම් රටක් කාන්තාවට සම තත්ත්වය ලබාදී ඇය රාජ්‍ය පාලනය දක්වා ඔසවා තැබීම වූකලී සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ලෝකයේ දියුණු රාජ්‍ය බොහොමයක් රාජ්‍ය පාලනයෙහිලා කාන්තා දායකත්වය නොවඩුව ලබාගත් බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිළි වෙයි. භාරතීය දාර්ශනිකයන්ට අනුව “ස්ත්‍රිය යනු වාසනාවේ දෙවඟනය” නැතහොත් නිවසේ දෙවියන් කාන්තාව වන්නී ය.

මේ අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් 29% කට සෘජු දායකත්වය ලබා දෙන්නේ කාන්තාවන් ය.

එවන් දිරිය, අභිමානවත් කාන්තාවන්ට වෙන් වුණු අද දිනයේ සියලු කාන්තාවන්ට My newslanka අප සුබ පැතුම් එක් කරන්නෙමු.