දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි

ප්‍රශ්නගත නිලධාරියෙකුට උසස්වීම් ලබාදීමට එරෙහිව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

නුසුදුසු නිලධාරියෙකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුරට පත් කිරීම සම්බන්ධයෙනුයි ඔවුන් මෙලෙස විරෝධය පළ කරන්නේ.

දුම්රිය ස්ථානාධිපති සේවයේ උසස්වීම් වසර ගණනාවක් ප්‍රමාද කරමින් තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව, අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාද දැනුවත් කර තිබියදී අදාළ චෝදනා එල්ල වූ නිලධාරීයාට උසස්වීම ලබාදීම ගැටළු සහගත බව එම සංගමය සඳහන් කළා.

එම නිසා අදාළ උසස්වීම ලබාදීම කඩිනමින් අත්හිටුවන ලෙසත්, වෙනත් සුදුසු නිලධාරියෙකු ඊට පත් කිරීමට කටයුතු කරන ලෙසත් දුම්රිය ස්ථානාධිපති සංගමය ඉල්ලා සිටිනවා.

මේ අතර, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණත්, ඊට අදාළව විෂය භාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බව අදාළ වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔවුන් කියා සිටියේ.