අනුෂ්කා සංජීවනීට දඩයක් – කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තුවත් ඉහළට

අනුෂ්කා සංජීවනීට දඩයක් – කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තුවත් ඉහළට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනීට තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් පනවා තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටමේ චර්යා ධර්ම කඩ කිරීමක් හේතුවෙන්.

2023 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල T20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගය අතරතුර දී මෙම චර්යා ධර්ම උල්ලංඝණය කිරීම සිදු වුනා.

මෙහි දී චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සංජීවනී වරදකාරිය වූ අතර, පිතිකරුවෙකු දැවී යාමේදී ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වෙත කිසියම් භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීමට අදාළ වරදක් ඇය සිදු කර තිබෙනවා.

ඊට අමතරව සංජීවනීගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුනක් ද එකතු කර තිබෙනවා.

බංගලාදේශ ඉනිමේ 10 වැනි ඕවරයේදී සෝභනා මොස්ටාරි දැවී යාමෙන් පසු සංජීවනී පිතිකාරිනිය දෙසට ආක්‍රමණශීලී ලෙස දිව ගොස් සිදුකළ සැමරීම, කිසියම් භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිතා කිරීමෙන් සිදු කෙරෙණ වරදක් ලෙසටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ තරග ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව සීමිත පන්දුවාර තරග රටාවේ මෙතෙක් ඇමරිකානු ඩොලර් 250ක් ව තිබූ, තරග ගාස්තුව ක්‍රීඩිකාවකට ඩොලර් 750 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම තරග ගාස්තුවෙන් සියයට 25 බැගින් සංචිතයේ සිටින සෑම ක්‍රීඩිකාවකටම හිමිවනු ඇති.

එසේම ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණය කරනු ලබන තරගයක දී සෑම ක්‍රීඩිකාවකට ම ඇමරිකානු ඩොලර් 250ක ජයග්‍රාහී ප්‍රසාද දීමනාවක් ගෙවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.