මීළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ?

මීළඟ පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.
පසුගිය කාලයේ පාතාල මර්දන මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැටලීම් තෙන්නකෝන් අධික්ෂණයෙන් සාර්ථකව සිදු කෙරිණි.
පසුගිය කාලසීමාවේදී නමගිය පාතාල සාමාජිකයන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේය. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ලබන 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.
දැනට සිටින අනුප්රාප්තිකයන් අතර සහකාර පොලිස් අධිකාරි කාලයේ සිට ජේයෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිට ඇත්තේ දේශබන්ධු තෙන්නකෝන් ය.
එහෙත් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වීම් ලැබීමේදී තාක්ෂණික කරුණක් මත සිදු වූ ලකුණු කප්පාදුවකින් ජේයෂ්ඨතා ධූරාවලිය වෙනස් වී ඇතැයි වාර්තා වේ.
එම අවධියේදී තෙන්නකෝන්ගෙන් පසු පිළිවෙළින් ජේයෂ්ඨතා අනුපිළිවෙළෙහි සිට ඇත්තේ ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධනයි.
ජේයෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියදී පොලිස්පති ප්‍රශංසා දත්ත ඇතුළත් කිරීමේදී වූ තාක්ෂණික කරුණක් මත ලකුණු 4ක් කපා දැමීමෙන් තෙන්නකෝන්ගේ ස්ථානය වෙනස් වී තිබේ.
පොලිස්පති ප්‍රශංසා ලේඛනයට 230 බී පෝරමය වෙනුවට පැරැණි ආකෘතියෙන් දත්ත සැපයීම ඊට හේතුව වී ඇත.
ඉන්පසු ජේයෂ්ඨතා අනුපිළිවෙළ සකස් වී ඇත්තේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක හා දේශබන්ධු තෙන්නකෝන් වශයෙනි.
එහෙත් ශ්‍රී ලංකා පොලිසියෙහි සිය සේවා කාලය තුළ බහුවිධ අංශවලින් දේශබන්ධු තෙන්නකෝන් පෙන්වා ඇති කුසලතා හා ඔහුගේ අත්දැකීම් ගැන මේ වනවිට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයකි.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක හමුදාද ඒකාබද්ධ කරගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය මාෆියාවේ සැලකිය යුතු මහමොළකරුවන් පිරිසක් ආසන්න කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විණි.

