තෙල් ෂෙඩ් වල දිගු පෝලිම් – තවදුරටත් තෙල් සේවකයින් වර්ජනයේ

තෙල් ෂෙඩ් වල දිගු පෝලිම් – තවදුරටත් තෙල් සේවකයින් වර්ජනයේ

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර ප්‍රකාශ කළා.

මෙම වර්ජනය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ ඊයේ (28) පස්වරුවේ සිට රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙරේදා (27) එම සංස්ථාව ඉදිරිපිට වෘත්තීය සමිති ආරම්භ කර සත්‍යග්‍රහය තීව්‍ර කරමින් ඔවුන් ඊයේ (28) පස්වරුවේ සිට සියලු රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කළා.

පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර කියා සිටියේ කොළොන්නාව නිමාව, මුතුරාජවෙල සහ සපුගස්කන්දෙන් තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන් ඊයේ (28) අඩාල වූ බවයි.

කොලොන්නාව නිමාවට මේ වනවිට යුද හමුදාව යොදා ඇති බවටද ඔහු චෝදනා කළා.

මෙම තත්ත්වය හමුවේ ඊයේ (28) පස්වරුවේ සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝළිම් දක්නට ලැබුණා.