ලන්දේසීන් ගෙන ගිය කෞතුක භාණ්ඩ යළි ලබාදීමේ ගිවිසුමට අද අත්සන් තැබේ

ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වැටලූ අවස්ථාවේදී රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 6 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකකට අද (28) අත්සන් තැබීමට නියමිතයි.
ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදි යි.
1765 වසරේදී මහනුවර රජ මාළිගාව වටළා එහි තිබූ කෞතුක භාණ්ඩ රැගෙන ගොස් තිබුණේ ලන්දේසී පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින්.
2022 වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයේ විද්වත් පිරිසක් විසින් අවසන් කරනු ලැබූ පර්යේෂණයකට අනුව නෙදර්ලන්තයේ රිජ්ක්ස් කෞතුකාගාර එකතුවේ තිබූ ප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් සහ රිදී කස්ථාන දෙකක්, පිහි, තුවක්කු දෙකක් මෙලෙස ශ්‍රී ලංකාවට භාරදීමට නියමිතයි.
ඊට අදාළ කටයුතු සඳහා නෙදර්ලන්තයේ සංස්කෘතික හා මාධ්‍ය රාජ්‍ය ලේකම් ගුනේඋස්ලුගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංස්කෘතික දූත පිරිසක් මෙරටට පැමිණෙන අතර, ඔවුන් මේ මස 31 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

